මිය යාමට අවශ්‍යවීම වැරදි ක්‍රියාවක්ද?


ප්‍රශ්නය: මිය යාමට අවශ්‍යවීම වැරදි ක්‍රියාවක්ද?

පිළිතුර:
අසාධ්‍ය රෝගයකින් පෙලෙන, වේදනාකාරී තත්වයන්හී ජීවත්වන, අධික ශෝකය සහ සිත් වේදනාවෙන් පෙලෙන බොහෝ දෙනෙක්, තමාගේ ජීවිතය දෙවියන්වහන්සේ වෙතට ගන්නා මෙන් ඉල්ලීමට හැකිදැයි සිතති. මෙය වනාහි සියදිවි හානි කර ගැනීමේ ක්‍රමයක්ද? අපට මරණය ළගාකර දෙන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤා කළහොත්, උන්වහන්සේ අපව ස්වර්ගයට පිළිගන්නා සේක්ද? මෙහිදි පැන නඟින ප්‍රශ්නය වනුයේ එසේ යාච්ඤා කිරීම පාපයක්ද යන්නය.

කායිකව හෝ මානසිකව පීඩාවට ලක්වන අය ඉන් මිදීමට තැත් කිරීම මනුෂ්‍යය ස්වාභාවය වේ. මතෙව් 26:39 පදයෙහි සඳහන් පරිදි යේසුස්වහන්සේද මෙසේ යාච්ඤා කළ සේක. "අහෝ මාගේ පියාණෙනි, හැකි නම් මේ කුසලාන මා කෙරෙන් පහකල මැනව. එහෙත්, මා කැමති ලෙස නොව, ඔබ කැමති ලෙස වේවා". මෙය මනුෂ්‍යයෙකු වශයෙන් උන්වහන්සේ වදාළ දෙයකි. යේසුස් වහන්සේ තමන්වහන්සේට ඉදිරි කාලයේදී කුරුසිය මත දැරීමට සිදුවන දේවල් ගැන දැන සිටි නමුත්, උන්වහන්සේ දෙවියන්වහන්සේගේ කැමැත්තට යටත් වු සේක. සෑමවිටම යේසුස්වහන්සේ තම පියාණන්ගේ කැමැත්තට යටත් වු සේක. (යොහාන් 5:30) ගෙත්සෙමන උයනේදී උන්වහන්සේ තමන්ට දුක්විඳීමට මුහුණ දීමට සිදුවන බව දැනගත් අතර, එය පියාණන්වහන්සේගේ කැමැත්ත බැවින් සතුටින් එම දුක් දරාගත් සේක.

ඇදිහිලිවතුන් ලෙස අපද, හැමවිටම යාච්ඤා කළ යුත්තේ "ඔබගේ කැමැත්ත ඉටුවේවා" යනුවෙනි. අපගේ නියමිත වේලාවට පෙර කිසිවකු මිය නොයනු ඇත. දාවිත් ප්‍රකාශ කරන ලෙස, සැබෑව නම්, අපගේ ජීවිත කාලය දෙවියන් වහන්සේ විසින් සැලසුම් කර ඇති බවත්, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව මිස, වෙනත් කිසිම හේතුවක් නිසා එය කෙටි නොවන බවත්ය. "මාගේ දවස් පටන් ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබින." (ගීතාවලිය 139:16) එබැවින් මිය යාම සඳහා යාච්ඤා කිරීමට වඩා, අප අත්විඳින කුමන ආකාරයක හෝ පීඩා දරා ගැනීමට දෙවියන්වහන්සේගේ ශක්තිය සහ කරුණාව ඉල්ලා යාච්ඤා කරමින්, අපගේ මරණය සිදුවන ආකාරය සහ වේලාව තීරණය කිරීම සඳහා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස තැබීම යෙහෙකි.

පීඩා විඳීම ඉතාමත් අසීරු වන අතර, එය එසේ සිදුවන්නේ කුමක් නිසාද යන්න තේරුම් ගැනීම ඊටත් වඩා දුෂ්කරය. පිඩා විඳීමෙන් යටත්පහත් කම ඇතිවන අතර, එසේ වීමට හෝ දුර්වලව අන් අය කෙරෙහි යැපීමට අප අකමැති වෙමු. එබැවින් "ස්වාමිනි, මටම මේ දේ සිදුවුයේ මන්දැ"යි අසන විට උන් වහන්සේගේ පිළිතුර වනුයේ "එය නුඹට නොවන්නේ මන්ද" යනුවෙනි. නව ජීවනය ලද්දන් මෙම ලෝකයේදී දුක් විඳීමට ලක්වන විට, එසේ වීමට දෙවියන් වහන්සේ තුල හේතුවක් ඇත. දෙවියන්වහන්සේ සර්වසම්පූර්ණ හා ශුද්ධවන්ත වන්නා සේම උන්වහන්සේගේ සැලසුම් සහ ක්‍රියාවන්ද, සර්වසම්පූර්ණ සහ ශුද්ධවන්ත වන අතර "දෙවි මග සර්වසම්පූර්ණ" (ගීතාවලිය 18:30) යන බයිබල් පාඨය පෙන්වා දෙන්නේ දෙවියන්වහන්සේගේ ක්‍රියාවන් සර්වසම්පූර්ණ නම්, උන්වහන්සේ සිදුකරන සහ අනුමත කරන සෑම දෙයක්ම සර්වසම්පූර්ණ බව අප විශ්වාස කළ හැකි බවය. මෙය සිදුවිය නොහැකි දෙයක් බව අපට පෙනුනත්, යෙසායා 55:8–9 පද මගින් අපට මතක් කර දෙනුයේ අපගේ සිතුම් පැතුම් දෙවියන්වහන්සේගේ සිතුම් පැතුම් නොවන බවය.

අපොස්තුඵ පාවුල් තුමා තමාගේ "ශරීරයේ කා වැදුණු කටුවක්" වැනි පීඩාවකට ලක් වී සිටියේය. එයින් අදහස් වනුයේ බයිබලයේ විස්තර කර දී නොමැති යම්කිසි ඇබ්බැහිවීමකට ඔහු භාජනය වී තිබු බවය. එම "කටුව" ඔහුගෙන් ඉවත් කරන ලෙසට ඔහු උන්වහන්සේට තුන් වරක් යාච්ක්‍ඳා කළේය. එනමුත් දෙවියන්වහන්සේට එම පීඩාව ක්‍ෂණිකවම ඉවත් කිරීමට හැකියාව තිබුනත්, උන්වහන්සේ එසේ නොකළ සේක. ඔහු උදාරම් වීමෙන් සහ තමා හට ලැබී තිබු බොහෝ එළිදරව්වීම් වලටත් වඩා ඉහළින් වැජඹීමෙන් ඔහුව වැළැක්වීමට හැකිවන ලෙස, එම "කටුව" ඔහු තුළ තිබීමට හරින බව උන්වහන්සේ ඔහුට මතක් කර දුන් සේක. එනමුත් දෙවියන්වහන්සේ පාවුල්තුමාට තනිවම එම පීඩා විඳීමට තරම් ඔහු දුර්වල නොකළ සේක. ඔහුට ලබාදී ඇති "කරුණාව" ඔහුට සෑහෙන බවත්, ඔහුව පීඩා තුළින් දරා ගැනීමට දෙවියන්වහන්සේගේ බලය ගැන ඔහුගේ විශ්වාසය මගින් උන්වහන්සේ මහිමයට පත් වන බවත් උන් වහන්සේ ඔහුට සහතික වු සේක. මෙම සත්‍යයතාවයට පාවුල්තුමාගේ ප්‍රතිචාරය නිසා, ඔහුගේ දුර්වලකම් සහ පීඩාවන් ගැන සතුටු විය හැක්කේ, එයින් විදහා දැක්වෙන දෙවියන්වහන්සේගේ බලය හා ශක්තිය මගින් උන්වහන්සේ මහිමයට පත්වන බැවිනි. (2 කොරින්ති 12:7–10) එබැවින් පීඩා සහ අනෙකුත් කරදර මගහැරයාම වෙනුවට අප කළ යුත්තේ, දෙවියන්වහන්සේ කෙරෙහි යැපෙමින් උන්වහන්සේ තුළ සැනසීම ලබා ගැනීමටය. පීඩා විඳීම සම්බන්ධව උන්වහන්සේගේ කැමැත්ත, සැමවිටම උන්වහන්සේ මහිමයට පත් කරන අතර, එමගින් අපහට ලැබෙන ආශීර්වාදයන්ද වැඩිවේ.

ඉතාමත් තදින්ම පීඩාවලින් දුක්විඳින විට, අපට තවදුරටත් ඒවා දරා ගැනීමට නොහැකි ලෙස හැඟේ. එනමුත්, අපට පෙර වෙනත් කෙනෙකු අත් නුදුටු පීඩාවන් හෝ පරික්‍ෂාවන්, ඇදිහිලිවතුන් කෙරෙහි නොපැමිණෙන බව දෙවියන් වහන්සේ අපට මතක් කර දෙන සේක. සමහර ඇදිහිලිවතුන් අත්විඳි වේදනා, නවීන ඖෂධ මගින් මැඩපැවැත්විය නොහැකි තරම් විය. සමහර ඇදිහිලිවතුන්, දෙවියන්වහන්සේට විරුද්ධකම් කරන අයගේ මැදිහත්වීමෙන් පීඩාවන්ට සහ මරණයට පවා ගොදුරු වූහ. සමහර ඇදිහිලිවතුන් හුදෙකලා කරනු ලැබ සහ අත්හැර දමනු ලැබුවෝය. තවත් සමහර අය ඔවුන්ගේ සාක්‍ෂි දැරීම නිසා, සිරගත කරනු ලැබුවෝය. එබැවින් අපි නිසැකවම තනිවී නැත. දෙවියන්වහන්සේ සෑමවිටම විශ්වාසවන්ත වන අතර, අපට දරාගත නොහැකි තරම් ප්‍රමාණයට වඩා පීඩා හා දුක්විඳීමට අපව ලක් නොකරන අතර, එම පීඩාවන් දරාගැනීමට සහ ඉන් මිදීමට අපට මාර්ගයක් සලසා දෙන සේක. (1 කොරින්ති 10:13)

අවසාන වශයෙන්, මරණය ලඟාවීම සඳහා යාච්ඤා කිරීම පාපයක්ද යන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් සඳහන් කළ හැකි වන්නේ රෝම 14:23 පදයේ සඳහන් පරිදි "හෘදය සාක්‍ෂියට එකඟ නොවන සෑම දෙයක්ම පාපයකි" යනුවෙනි. එසේම යාකොබ් 4:17 අනුව "එබැවින් යමෙක් කළ යුතු යහපත දැන දැනත්, එය නොකරන්නේ නම් ඔහු පව්කාරයෙකි". අපව ස්වර්ගයෙන් බැහැර කරන එකම පාපය නම් ස්වාමීවු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලවුම්කරු බව ප්‍රතික්‍ෂේප කිරීමය. නමුත් මරණය ලගා කර දෙන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම පාපයක් වන්නේ, එමඟින් ඇදහිල්ලේ මද බව පිළිබ්ඹු වන හෙයිනි. ඊට වඩා හොඳ යාච්ඤාවක් වනුයේ "දෙවියන්වහන්ස ඔබවහන්සේ මාගේ පරීක්‍ෂා වලදි මා උසුලාගෙන යාමට පොරොන්දු වී ඇත. මාගේ දුක්වීඳිම පහසු කිරීමට හෝ එයින් මිදීමට ක්‍රමයක් ලබා දෙන ලෙස කන්නලව් කරමි. එනමුත් සෑමවිටදීම මාගේ කැමැත්ත නොව, ඔබවහන්සේගේ කැමැත්ත ඉටු වේවා" ආමෙන්. යනුවෙනි.

English


නැවතත් සිංහල මුල් පිටුවට
මිය යාමට අවශ්‍යවීම වැරදි ක්‍රියාවක්ද?