settings icon
share icon
ප්‍රශ්නය

විවිධ යාච්ඤා වර්ග කිනම්ද?

පිළිතුර


දේව වචනය තුළින් විවිධ යාච්ඤා වර්ග නිරාවරණය කරනු ලබන අතර විවිධ වචන ප්‍රභේදයන් යොදා ගනිමින් එම පරිශ්‍රීලනයන් විස්තර කරනු ලබයි. නිදසුනක් ලෙස 1 තිමොති 2:2 හි සදහන් වන්නේ "සියලූ මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාච්ඤාද මැදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්ට සියල්ලට පළමුවෙන් අවවාද කරමි." මෙහිදී ග්‍රීක් භාෂාවෙහි යාච්ඤාව පිළිබදව භාවිතා කරනු ලබන ප්‍රධානතම වචන 4 එක් පදයකින් සදහන් වී ඇත.

දේව වචනයේ සදහන් ප්‍රධානතම යාච්ඤා වර්ග මෙසේය;

ඇදහිල්ලේ යාච්ඤාව: යාකොබ් 5:15 හී ප්‍රකාශ වන්නේ "එවිට ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමින්වහන්සේ ඔහු නැගුටුවනවා ඇත." මෙම පෙළ යෙදුමෙහි යාච්ඤාව ඇදහිල්ලෙන් ඔප්පු කරනු ලබනුයේ රෝගාතුරව සිටින පුද්ගලයෙකුට දෙවියන්වහන්සේගෙන් සුවය ලබා ගනු පිණිසය. අප යාච්ඤා කරන විට දෙවියන්වහන්සේගේ බලය සහ යහපත්කම කෙරෙහි විශ්වාසය තැබිය යුතු වෙමු (මාර්ක් 9:23).

එකගත්වයේ යාච්ඤාවේ (ඒකාබද්ධ යාච්ඤාව ලෙසද හැදින්වේ): යේසුස්වහන්සේගේ කුරුසිපත් වීමෙන් අනතුරුව උන්වහන්සේගේ ගෝලයින් මේ සියල්ලෝම නොකඩවාම යාච්ඤා කරමින් සිටියෝය (ක්‍රියා 1:14). පසුව පෙන්තකොස්ත දිනයෙන් අනතුරුව මුල් සභාව "යාච්ඤා වලද ස්ථිර ලෙස පැවතුණහ" (ක්‍රියා 2:42). ඔවුන්ගේ නිදසුන අන් අය හා සමග යාච්ඤා කිරීමට අපව දිරිමත් කරනු ලබයි.

අයදීම් පිළිබද යාච්ඤාව (නොහොත් ආයාචනයන්): අප අපගේ අයදීම් දෙවියන්වහන්සේ වෙතට ගෙන ගිය යුතු වෙමු. පිලිප්පි 4:6 හී අපට උගන්වනු ලබන්නේ "ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න." ආත්මික සටන දිනාගැනීමේ එක් කොටසක් ලෙස "සියලූ යාච්ඤා වලින්ද ඉල්ලම් වලින්ද සියලූ කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤා කරන්න" (එපීස 6:18).

ස්තුති දීමේ යාච්ඤාව: පිලිප්පි 4:6 හී අපට තවත් ආකාරයක යාච්ඤාවක් දක්නට ලැබේ: ස්තුති දීම නොහොත් දෙවියන්වහන්සේට ස්තුති දීම. "ස්තුති දීම සමග ඔබගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න." ස්තුති දීමේ යාච්ඤාව පිළිබද බොහෝ නිදසුන් අපට ගීතාවලියෙහි දක්නට ලැබේ.

නමස්කාරයේ යාච්ඤාව: නමස්කාරයේ යාච්ඤාව ස්තුති දීමේ යාච්ඤාවට අනුරූප වේ. වෙනස වූ කලි නමස්කාරය ඉලක්ක කොට ගන්නේ දෙවියන්වහන්සේ කව්රුන්ද යන්න පිළිබදවය; ස්තුති දීම ඉලක්ක කොට ගන්නේ දෙවියන්වහන්සේ කර ඇති දේ පිළිබදවය. අන්තියෝකියේ සභා නායකයන් මේ අයුරින් උපවාස කරමින් යාච්ඤා කළහ: "ඔවුන් ස්වාමින් වහන්සේට මෙහෙ කරමින් නිරාහාරයෙන් උන් කළ ශුද්ධාත්මයාණන්වහන්සේ කථාකොට: මා විසින් බාර්නබස්ද සාවුල්ද කැදවූ වැඩය පිණිස ඔවුන් මට වෙන් කරන්නැයි කීසේක. එවිට ඔව්හූ නිරාහාරයෙන් හිද යාච්ඤා කොට ඔවුන් පිට අත් තබා ඔවුන් පිටත් කර හැරියෝය" (ක්‍රියා 13:2–3).

කැපවීමේ යාච්ඤාව: සමහර අවස්ථාවලදී යාච්ඤාව වූ කලී දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුගමනය කරනු වස් අපගේ කාලය වෙන් කර තැබීමකි. යේසුස්වහන්සේ විසින් මෙවන් යාච්ඤාවක් උන්වහන්සේගේ කුරුසිපත් වීමට ප්‍රථම රාත්‍රියේදී කළ සේක: උන්වහන්සේ මදක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවායි කියා යාච්ඤා කළ සේක (මතෙවි 26:39).

මැදහත්කාරකමේ යාචිදෘව: බොහෝ අවස්ථාවන්හී අප අනෙකුත් අය වෙනුවෙන් මැදහත්කාරකම් කරන විට ඔවුන්ගේ අයදීම්ද අපගේ යාච්ඤාවන් තුළ අන්තර්ගතවේ. 1 තිමොති 2:1 ට අනුව අපට මැදහත්කාරකම් කිරීමට පවසා ඇත්තේ "සියලූ මනුෂ්‍යයන්" උදෙසාය. මෙම විෂයපථයේ අපගේ කදිම නිදසුන ලෙස යේසුස්වහන්සේ ක්‍රියාත්මක වන සේක. යොහාන් 17 හී මුළුමනින්ම පාහේ සදහන් වන්නේ යේසුස්වහන්සේ තම ශ්‍රාවකයන් සහ සියලූ ඇදහිලිවන්තයන් උදෙසා කළාවූ යාච්ඤාවක්ය.

ශාප කිරීමේ යාච්ඤාව: ශාපය සහිත යාච්ඤාවන් අපට ගීතාවලියෙහි දක්නට ලැබේ.ග (උදාහරණ ලෙස, 7, 55, 69). ඒවා භාවිතා කරනු ලබන්නේ දුෂ්ටයන් කෙරෙහි දෙවියන්වහන්සේගේ විනිශ්වය යටහත්ව යැදීම කරණකොටගෙන ධර්මිෂ්ඨයන් ද්යෝෂහරණය කරනු වස්ය. ගීතිකා කරුවා මෙවන් අභියාචනයන් භාවිතා කරනු ලබන්නේ දෙවියන්වහන්සේගේ ශුද්ධභාවය මෙන්ම උන්වහන්සේගේ විනිශ්චයේ නිශ්චිතභාවය අවධාරණය කරනු පිණිසය. යේසුස්වහන්සේ අපට උගන්වනු ලබන්නේ අපගේ සතුරන්ට ආශිර්වාද කරමින් යාච්ඤා කිරීම වන අතර ශාප කිරීම නොවේ (මතෙව් 5:44–48).

දේව වචනයෙහි ආත්මයෙන් යාච්ඤා කිරීම පිළිබදව මෙන්ම (1 කොරින්ති 14:14–15) අපට ප්‍රමාණවත් වචන පිළිබදව සිතීමට නොහැකි වූ විට කළ හැකි යාච්ඤා පිළිබදවද කථා කරනු ලබයි (රෝම 8:26–27). එවන් අවස්ථාවන්හී ආත්මයාණන්වහන්සේ විසින්ම අප වෙනුවෙන් මැදහත්කාරම් කරනු ලබන සේක.

යාච්ඤාව වනාහී දෙවියන්වහන්සේ හා සමග කරනු ලබන සංවාදයක් වන අතර එය නොකඩවා කළ යුත්තක් වේ (1 තෙසලෝනික 5:16–18). යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය වැඩෙන කළ අප ස්වභාවයෙන්ම උන්වහන්සේ හා සමග කථා කිරීමට අභිප්‍රාය කරන්නෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවිධ යාච්ඤා වර්ග කිනම්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries