settings icon
share icon
ප්‍රශ්නය

මට දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද?

පිළිතුර


මිනිසාගේ පාපය සහ දෙවියන්වහන්සේගේ මැවිල්ලේ පරිපූර්ණත්වයට වස කැවු පසුකාලීන ශාපය නිසා ලෝකය බොහෝවිට භයානක ස්ථානයකි. ස්වාභාවික විපත්, අපරාධ, දුර්වල සෞඛ්‍යය සහ තවත් බොහෝ දේවලින් මිනිසුන් දිනපතා පීඩා විඳිති. ජීවිතයේ වේදනාවෙන් හා ශෝකයෙන් ආරක්ෂාව ලබා ගැනීම ස්වාභාවිකය. දෙවියන්වහන්සේගේ සදාකාල පවුලේ සාමාජිකයෙකු වන විට දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ගැන බයිබලය අපට පොරොන්දු වෙනවාද?

දෙවියන්වහන්සේ විසින් ශාරීරික ආරක්ෂාව පොරොන්දු වන පරිදි දෙවියන් වහන්සේගේ වචනයේ බොහෝ පද තිබේ. නිදසුනක් වශයෙන්, ගීතාවලිය 121:3 පවසනවා, "උන්වහන්සේ ඔබේ පාදය ලිස්සා යාමට ඉඩ නොදෙයි. ඔබ දෙස බලා සිටින තැනැන්වහන්සේ හට නිදිමත වීමක්වත් නිදාගැනිමක්වත් නැත." 7 වන පදයේ ගීතිකා කරු ප්‍රකාශ කරන්නේ, "ස්වාමීන්වහන්සේ ඔබව සියලු හානි වලින් වළක්වයි, උන්වහන්සේ ඔබේ ජීවිතය බලා ගන්නේය" කියායි. ඉශ්‍රායෙලය පොරොන්දු දේශයට ඇතුළුවන විට, දෙවියන්වහන්සේ ඔවුන්ව කිසිවිටෙකත් අත්නොහරින බවට හෝ අත්හරින්නේ නැති බවට පොරොන්දුවිය (ද්විතීයකථාව 31:6).

බැලූබැල්මට දෙවියන්වහන්සේ තම දරුවන්ට හානි වලින් ආරක්ෂා කරන බවට පොරොන්දුවී ඇති බව පෙනේ. නමුත් එය එසේනම්, ලොව පුරා බොහෝ කිතුනුවන් පීඩා, අසනීප, පාඩු, අනතුරු සහ තුවාල සමඟ පොර බදන්නේ ඇයි? "පාදය" ලිස්සා ගිය කිතුනුවන් අපි කවුරුත් දනිමු. දෙවියන් වහන්සේ තම පොරොන්දුව කඩ කරනවාද, නැත්නම් අපට යමක් මග හැරී තිබේද?

පළමුවෙන්ම, මෙසයානික ගිවිසුමේ සන්දර්භය තුළ භෞතික ආරක්ෂාව පිළිබඳ පැරණි ගිවිසුමේ පොරොන්දු අප අර්ථ නිරූපණය කළ යුතුය. ඉශ්‍රායෙල් ජනයා ගිවිසුමට කීකරුවූ බැවින්, දෙවියන්වහන්සේ ඔවුන්ගේ භෝග, පශු සම්පත්, දරුවන් යනාදී විවිධ ද්‍රව්‍යමය හා ශාරීරික ආශීර්වාද පොරොන්දුවූ සේක (ද්විතීයකථාව 28). පරණ ගිවිසුම භූමික ආශීර්වාද ගැන බෙහෙවින් සැලකිලිමත්වූ අතර ශාරීරික ආරක්ෂාව ඔවුන් අතර විය. මාරාන්තික රෝගයකින් පීඩා විඳි හෙසකියාගේ යාච්ඤාවට පදනම මෙයයි (2 රාජාවලිය 20:1-6). පරණ ගිවිසුම පුරාම දෙවියන්වහන්සේ තම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා තම සෙනඟව ආරක්ෂා කරන බව අපට පෙනේ (උදා: නික්මයාම 1:22—2:10; 1 රාජාවලිය 17:1-6; යෝනා 1).

අප සිටින්නේ නව ගිවිසුම යටතේ මිස පරණ ගිවිසුම යටතේ නොවන බව වටහා ගැනීම වැදගත්ය. ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන්ව සියලු ශාරීරික හානි වලින් වළක්වා ගැනීමට දෙවියන්වහන්සේ පොරොන්දුදී නැත. අප තුවාල හෝ අලාභයන්ට මුහුණ දෙන අවස්ථා වලින් උන්වහන්සේ දයානුකම්පිතව අපව ආරක්ෂා කරන අවස්ථා තිබේ. ක්‍රියා 27 හී නැව් බිඳී යාමෙන් පාවුල්තුමා සහ ලූක්තුමාගේ පැවැත්ම සහ ක්‍රියා 28 හී සර්පයකු විසින් දෂ්ඨ කිරිම තුල පාවුල්තුමා එම ක්‍රියාවට ප්‍රතිචාර නොදක්වා සිටිම උදාහරණවේ. කෙසේ වෙතත්, අද දින ඇදහිලිවන්තයන්ට දෙවියන්වහන්සේ දුන් පොරොන්දු සාමාන්‍යයෙන් යොමුවන්නේ අධ්‍යාත්මික ආරක්ෂාවයි.

ගැලවීම සඳහා අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කරන විට, ශුද්ධාත්මයාණන්වහන්සේ වහාම අපගේ ජීවිත වලට ඇතුල්වේ. අපව සදාකාලයටම මුද්‍රා තබා දෙවියන්වහන්සේගේ අධ්‍යාත්මික ආරක්ෂාව යටතට ගෙන එනු ලැබේ. මෙයින් අදහස් කරන්නේ, අපගේ අනාගත පව් හෝ සාතන්ගේ කුමන්ත්‍රණ නොසලකා, දෙවියන්වහන්සේ ලබාදී ඇති ගැලවීම අපට කිසිවිටෙකත් අහිමි නොවන බවයි (2 තිමෝති 1:12). දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ හැකි කිසිවක් නැත (රෝම 8:38-39). ඊට අමතරව, අපට පාපයේ ආධිපත්‍යයෙන් නිදහස ලබාදී ඇත — අප තව දුරටත් පව්කාර සිතුවිලි, ආශාවන් හා ක්‍රියාවන්ට වහලුන් නොව, ශුද්ධකමේ නව ජීවිතයකට උපත ලබන්නෙමු (රෝම 6:22).

අපගේ ජීවිත කාලය පුරාම දෙවියන්වහන්සේ "අපගේ හදවත් හා [මනස] ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආරක්ෂා කරනු ඇත" (පිලිප්පි 4:7), ඕනෑම පරීක්ෂණයකින් හෝ පරීක්ෂාවකින් අපට එය කිරීමට අවශ්‍ය ශක්තිය, සාමය සහ නොපසුබට උත්සාහය සපයයි. උන්වහන්සේගේ ආත්මය අප තුළ වර්ධනය වන අතර එය අපගේ ක්‍රිස්තියානි ඇවිදීම ශක්තිමත් කරයි (ගලාති 5:22-23), තවද සතුරාගේ අධ්‍යාත්මික ප්‍රහාර වලින් වළක්වා ගත හැකි ප්‍රබල මෙවලම් උන්වහන්සේ අපට සපයයි (එපීස 6:10-18)

දෙවියන්වහන්සේ ගෙන් ශාරීරික රැකවරණය ඉල්ලාසිටීමේ කිසිදු වරදක් නැත, අප තේරුම් ගන්නා තාක්කල්, එය ලබාදීමට උන්වහන්සේ සුදුසු නොවන බව අපට වැටහේ. අපේ මාර්ගයෙන් පැමිණෙන පීඩා වලින් අප ශක්තිමත් වන බව උන්වහන්සේ දනී. සෑම භෞතික පරීක්ෂණයකදීම උන් වහන්සේගේ අධ්‍යාත්මික ආරක්ෂාව අපට සහතිකවේ. එබැවින්, දෙවියන් වහන්සේගෙන් සම්පූර්ණ ශාරීරික රැකවරණය අපේක්ෂා කරනවාට වඩා, යාකොබ්, "මාගේ සහෝදරයෙනි, ඔබ විවිධාකාර පරීක්ෂාවන්ට මුහුණ දෙන සෑම අවස්ථාවකම එය ඔබගේ ප්‍රීතිය ලෙස සලකන්න. මන්ද, ඔබේ ඇදහිල්ල පරීක්ෂා කිරීම නොපසුබට උත්සාහයක් ඇති කරන බව ඔබ දන්නා බැවිනි". යාකොබ් 1:2-3).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මට දෙවියන්වහන්සේගේ ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries