යම්කිසි යුවලක් විවාහ වීමට පෙර සහකාරිය ගැබ්ගත හොත් ඔවුන් විවහා විය යුතුමද?


ප්‍රශ්නය: යම්කිසි යුවලක් විවාහ වීමට පෙර සහකාරිය ගැබ්ගත හොත් ඔවුන් විවහා විය යුතුමද?

පිළිතුර:
අද අප සමාජයේ විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධතාවයන්ට කොතරම් ඉඩකඩ සලසා ඇද්ද යත් එය සිදුවිය හැකි දෙයක් ලෙසට පිළිගෙන, උපදේශන සපයන බොහෝ කිතුනුවන් පවා එය පාපයක් ලෙස නොසලකති. විවහා වන තුරු ලිංගික සම්බන්ධතාවයන්ගෙන් වැළකීමට අවශ්‍ය සවයං දමනය මනුෂ්‍යයන් අතර නොමැති බව අපගේ සංස්කෘතිය උපකල්පනය කර ඇති හෙයින්, එවැනි හික්මවීමක් ගැන සිතීම පවා යථාර්තයක් වී නොමැත. දේවවචනය වෙනස් නොවන අතර, විවාහයෙන් පිටස්තරව ලිංගික සම්බන්ධතාවයන් දුරාචාර ක්‍රියාවන් බව දේව වචනයේ පෙන්වා දී ඇත. (මතෙව් 15:19, 1 කොරින්ති 6:9, 6:13, 7:2, 2 කොරින්ති 12:21, ගලාති 5:19, එපීස 5:3).

ක්‍රිස්තුස් වහන්සේ තුළ තමාගේ ඇදහිල්ල සහ විශ්වාසය තබා ඇති නැවත පුනර්ජීවනය ලැබු කිතුනුවකු හට තමාගේ ජීවිතය තවදුරටත් තමාටම අයිති නැත. 1 කොරින්ති 6:18–20 පද මගින් මෙසේ දැක්වේ. "අනාචාරයෙන් පලා යන්න. අන් හැම පාපයක්ම මිනිසා කරන්නේ ශරීරයෙන් බැහැරය. එහෙත් අනාචාරය කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව් කරයි. ඔබගේ ශරීරය ඔබට දෙවියන්වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩවසන ශුද්ධාත්මයාණන් වහන්සේගේ මන්දීරය වන බව ඔබ නොදන්හුද? ඔබ ඔබටම අයිති නැත. ඔබ මිලයට ගත් අය වන්නහුය. එබැවින් ඔබේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න."

විවාහය, ලිංගික සම්බන්ධතාවය සහ පවුල සම්බන්ධ දෙවියන් වහන්සේගේ සැලැස්ම ප්‍රතික්‍ෂේප කරන හැම විටම ඇති වන ආත්මික සහ කායික ප්‍රතිවිපාක නම්: ශුද්ධාත්මයාණන් වහන්සේට දුක්දීම (එපීස 4:30), සාවද්‍යතාවය, ලජ්ජාව, පසුතැවීම, තමා සහ අන් අය කෙරෙහි තිබෙන ගරුත්වය කෙලෙසීම, පවුල තුල සහ සැදැහැවතුන් අතර භේද ඇතිවීම, අයහපත් ගතිගුණ විදහා දැක්වීම, අනාගත සහකරු / සහකාරීය හට දුක් ගෙන දීම, අනවශ්‍ය ගැබ්ගැනීම් ඇති වීම, ගබ්සා කර ගැනීම් හා ලිංගික සම්භාධ ආශ්‍රිතව බෝ වන රෝග ඇතිවීම ආදිය වේ. දෙවියන්වහන්සේගේ කැමැත්ත වනුයේ, ලිංගික සම්බන්ධතාවය විය යුත්තේ ඉතාමත් සමීපත්වයෙන් ආදරය සහ කැපවීම ප්‍රකාශ කරන ආකාරයේ අඹුසැමි යුවල අතර පමණක් සිදුවිය යුතු ක්‍රියාවක් බවය. කායික තෘප්තිය සඳහාම පමණක් ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීමෙන් අපගේ ආත්මිකත්වය පලූදු වන අතර, එමඟින් දෙවියන්වහන්සේ සමග අපගේ සම්බන්ධතාවයද දුරස් වනු ඇත.

විවාහයෙන් පිටස්තරව ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම ගැන වරදකරුවෙකු වී එය ගැබ්ගැනීමක් බවට පත්වු විටදී පවා ඕනෑම කෙනෙකුට එයට සමාව ලබා ගත හැක. 1 යොහාන් 1:9 අනු"එහෙත් අප පාපොච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වුද, ධර්මිෂ්ඨ වූද, දෙවියන්වහන්සේ සියලූ පාප වලින්ද අදමිටුකම්වලින්ද අප පවිත්‍ර කරන සේක." මෙයින් අදහස් කරනුයේ උන්වහන්සේ අපගේ ක්‍රියා වලට ලැබිය යුතු ප්‍රතිවිපාක මකා දමන බව නොව, අපගේ පව් ගැන පාපොච්චාරණය කර ඒ ගැන පසුතැවිලි වන්නේ නම් අපට ආත්මිකව ප්‍රකෘතිමත් භාවය ලබා ගත හැකි බවය. මෙයින් සිදුවන්නේ අපගේ පාප වලින් හැරී, ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන්නත්, සේවය කරන්නත් කැපවීමය.

සමහර අවස්ථාවන්හි දරුවා බිහිවීමට පෙර විවාහ වීම ඥානවන්ත ක්‍රියාවකි. එකිනෙකාට දැඩිව බැඳුන, විවාහ වීමට අදහස් කර සිටින යුවලක්, වරදෙහි හැසිරීම නිසා දරුවෙකු ලැබීමට සිටී නම්, එම දරුවා බිහිවීමට පෙර එම යුවල විවාහ වීම තම පවුගේ සහ ලැබීමට සිටින දරුවාගේද යහපත සඳහා ඉවහල් වේ. නමුත් එකිනෙකාට දැඩිව බැඳි නැති යුවලක් එසේ එම වරදෙහි බැඳුනහොත්, ඔවුන් විවාහ වීමෙන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිවැරදිකරුවන් විය නොහැක. එවැනි අවස්ථාවකදී විවාහ වීමෙන් සිදුවනුයේ විවාහ ජීවිතයේ සංකූලතාවයන් ඇතිවීමය. මෙවැනි තත්වයක් යටතේ, තම දරුවා අධ්‍යාත්මිකව, ආත්මිකව සහ මූල්‍යමව නඩත්තු කිරීමට දෙමව්පියන් දෙදෙනාටම වගකීමක් ඇතත්, එවැනි අවස්ථාවකදී ඔවුන් විවහා විය යුතුද නැද්ද යන්න ගැන දේව වාක්‍යයේ නියෝග කර නොමැත.

අපගේ ක්‍රියාවන් නිසාවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ අප නිර්දෝශි නැත. අප මීදිම ලබා ඇත්තේ, ඇදහිල්ලෙන් පමණක්මය. එමෙන්ම අපගේ පව් වලින් ගලවා ගැනීම සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමෙනි. දේවවාක්‍යයේ මෙසේ සඳහන් වේ.

"පාපයේ විපාකය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ දීමනාව නම් අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සදාතන ජීවනයයි." (රෝම 6:23) අපගේ පව් අප විසින්ම නිවැරදි කර ගැනීමට උත්සහ කිරීම උන්වහන්සේගේ කැමැත්ත නොවේ. අපගේ හදවත් උන්වහන්සේට භාර වීම උන්වහන්සේගේ අභිප්‍රාය වේ. අපගේ ආශාවන් යටපත් කර, දෙවියන්වහන්සේගේ සර්වබල පරාක්‍රමයට යටත් වීමෙන් අපට මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ස්වර්ගයේ සදාතන ජීවනය සඳහා ස්ථානයක් ලබා ගැනීම ගැන සහතික විය හැක.

English


නැවතත් සිංහල මුල් පිටුවට
යම්කිසි යුවලක් විවාහ වීමට පෙර සහකාරිය ගැබ්ගත හොත් ඔවුන් විවහා විය යුතුමද?