settings icon
share icon
ප්‍රශ්නය

අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම වැදගත් වන්නේ ඇයි?

පිළිතුර


අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම — මෙය සාමාන්‍ය යාච්ඤා කිරීමට ආදාළවන අතර ප්‍රශ්ණයට නැගීමට ඉතා පහසු දෙයකි. දෙවියන්වහන්සේ දැනටමත් අප පිළිබඳ යහපත්දේ සැලසුම් කර ඇත්නම්, අප යාව්ඤා කළ යුත්තේ ඇයි? උන්වහන්සේ අපට වඩා අතිමහත් ප්‍රඥාවන්තය. අප යාච්ඤා කිරීම උන්වහන්සේට අවශ්‍ය ඇයි? හොඳමදේ කිරීම පිළිබඳ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම වඩා හොඳ නොවේද? දෙවියන්වහන්සේ අපට වඩා ප්‍රඥාවන්ත බව සත්‍යයක් (1 කොරින්ති1:25) වන අතර අප උන්වහන්සේව විශ්වාස කළ යුතුය (හිතෝපදේශ 3:5-6). අප වෙනුවෙන් යාච්ඤා කිරීම සහ අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම දෙවියන්වහන්සේ අපට අණ කරන දෙයක් වන අතර අප යාච්ඤා කළ යුත්තේ එම හේතු නිසාය.

පාපොච්චාරණය සමඟ සුවවීමේ ප්‍රභවයක් ලෙස අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම නිර්දේශ කෙරේ (යාකොබ් 5:16). යාකොබ් පවසන්නේ "ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පු කරන යාච්ඤාව කරණකොටගෙන මහත්දේ ඉෂ්ට වෙයි" යන බවයි. දැන්, මෙයින් අදහස් කරන්නේ යහපත් මිනිසුන්ගේ යාච්ඤාවන් පමණක් දෙවියන්වහන්සේ අසන බවද? නැත, බයිබලයේ ධර්මිෂ්ඨ යන වචනයෙන් අදහස් කරන්නේ, ඇදහිල්ල ඇති සහ යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨ කමින් ආවරණය වන අයයි (රෝම5:1; 3:21-22; 4:2-3).

යේසුස්වහන්සේ උන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කරන ලෙස අපට පැවසු සේක (ශු. යොහාන් 14:13-14).ඔබ වෙනත් කෙනෙකුගේ "නාමයෙන්" යමක් කරන්නේ නම්, එයින් අදහස් වන්නේ ඔබ එය ඔහුගේ කැමැත්තට අනුව කරන බවයි. එමනිසා, දෙවියන්වහන්සේව දැන හඳුනා ගැනීම සහ උන්වහන්සේව තේරුම් ගැනීම යාච්ඤාවේ අත්‍යවශ්‍ය අංගයකි. දැන්, අපි අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමවැදගත් වන්නේ මන්දැයි තේරුම් ගැනීමට පටන් ගන්නෙමු. යාච්ඤාව යනු අපට අවශ්‍ය සියල්ල ලබා ගැනීම හෝ අන් අය සැමවිටම

ආරක්ෂිත, සෞඛ්‍ය සම්පන්න සහ ගැටළු රහිතව තබා ගැනීම නොවේ. යාච්ඤාව යනු අපගේ ගැළවුම්කරුවා දැන හඳුනා ගැනීමට ප්‍රබල ක්‍රමයක් වන අතර, එය ඇදහිලිවන්තයන්ද එකට එක් කරයි. අන් අය වෙනුවෙන් කරන ඵලදායී යාච්ඤාවක් අපව දෙවියන්වහන්සේට සමීප කරවන අතර, ඵලදායී යාච්ඤාව පදනම් වන්නේ උන්වහන්සේගේ කැමැත්ත පිළිබඳ ඇති දැනුම මතය (1 යොහාන් 5:14). අප අන් අය ගැන වැඩි විස්තර දැන ගෙන ඔවුන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන බැවින්, එය අපව අන් අයටද සමීප කරයි.

අපෙන් බොහෝ දෙනෙක් හට, අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම මෙම මාර්ග ඔස්සේ දිවයයි: ස්වාමිනි, මගේ මිතුරාට රැකියාවක්, විශ්වාසදායක ප්‍රවාහන සේවාවක්, හොඳ සෞඛ්‍යයක් සහ ආරක්ෂාවක් ලබා දෙනු මැනව. අපි යමෙකු ඉතා හොඳින් හඳුනන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ විවාහය හෝ වෙනත් සබඳතා වෙනුවෙන්ද අප යාච්ඤා කරනු ඇත. මේ දේවල් වෙනුවෙන් යාච්ඤා කිරීමේ කිසිම වරදක් නැත; ඇත්ත වශයෙන්ම, සෑම දෙයක් සඳහාම යාච්ඤා කිරීමට බයිබලය අපව දිරිමත් කරන අතර එසේ කිරීමෙන් අපගේ කනස්සල්ල දුරුවනු ඇත (පිලිප්පි4:6). ශරීර සෞඛ්‍යය හා යහපත්දේ උදෙසා යාච්ඤා කිරීම සුදුසුය (3 යොහාන් 1:2).

කෙසේ වෙතත්, බයිබලයේ සඳහන් බොහෝ යාච්ඤාවන් වෙනත් ආකාරයකට අයත්වේ. යේසුස්වහන්සේ අන් අය වෙනුවෙන් යාච්ඤා කරනවිට, උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල උදෙසා යාච්ඤා කළ සේක (ශු. ලුක් 22:32), උන්වහන්සේ ඔවුන්ගේ ජීවිත වල පරීක්ෂාවන්ට එරෙහිව යාච්ඤා කළ සේක (ශු. ලුක් 22:40), උන්වහන්සේ ඔවුන්ගේ එකමුතුකම වෙනුවෙන් යාච්ඤා කළ අතර (ශු. යොහාන් 17:11), උන්වහන්සේ ඔවුන්ගේ ශුද්ධකම උදෙසාද යාච්ඤා කළ සේක (භු. යොහාන් 17:17). පාවුල් තුමා මුළාවූ අයගේ ගැලවීම උදෙසා යාච්ඤා කළේය (රෝම10:1); ඔහු සහෝදරයන් නිවැරදි මාර්ගයේ ගමන් කරන ලෙස යාච්ඤා කළ අතර (2 කොරින්ති13:7); ඔහු ඇදහිලිවන්තයන් ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ශක්තිමත් වන ලෙසත්, ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිටින ලෙසත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය වටහා ගැනීමට හැකිවන ලෙසත්, දෙවියන්වහන්සේගේ පූර්ණත්වයෙන් පිරීයන ලෙසත් යාච්ඤා කළේය (එපීස3:14-19). මේ සියල්ල ආත්මික ආශිර්වාදයන් උදෙසා කරන යාච්ඤාවන්ය; ඒවා සියල්ලම "යේසුස්වහන්සේගේ නාමයෙන්" වන අතර පියාණන්ගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස්වහන්සේ තුළ "ආමෙන්" ලෙස සහතික වන යාච්ඤාවන්ය (2 කොරින්ති1:20).

අන් අය උදෙසා යාච්ඤා කිරීම වැදගත් වන්නේ එය අළුත් ගිවිසුමේ ආඥාවක් ඉටු කරන බැවිනි. අපි සියලු මිනිසුන් වෙනුවෙන් යාච්ඤා කළයුතුය (1 තිමෝති2:1). අපි රජයේ නායකයන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුය (1 තිමෝති2:2). අපි ගැලවීම නොලබන අය වෙනුවෙන් යාච්ඤා කළ යුතුය(1 තිමෝති 2:3-4). අපි සෙසු කිතුනුවන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුය (එපීස6:18). අපි සුභාරංචි දේව සේවකයන් වෙනුවෙන් යාච්ඤා කළ යුතුය (6:19-20). අපි පීඩා විඳින සභාව වෙනුවෙන් යාච්ඤා කළ යුතුය(හෙබ්‍රෙව් 13:3). අප අන් අය වෙනුවෙන් යාච්ඤා කරනවිට අපගේ අවශ්‍යතා කෙරෙහි ඇති අවධානය අඩුවී අප අවට ඇතිදේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමුවනු ඇත. අප "එකිනෙකාගේ බර උසුලනවිට", අපි "ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව ඉටුකරන්නෙමු" (ගලාති6:2). අද දින සිට අපි අන් අය වෙනුවෙන් යාච්ඤා කරමින් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩනැගීමට උපකාර වෙමු.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීම වැදගත් වන්නේ ඇයි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries