settings icon
share icon
ප්‍රශ්නය

ප්‍රායෝගික දේවධර්මය යනු කුමක්ද?

පිළිතුර


ප්‍රායෝගික දේවධර්මය යනු එහි වචනයේ පරිසමාර්ථ අර්ථය අනූව, ප්‍රයෝජනවත් ලෙස හෝ ක්‍රියාවට නැංවිය හැකි ලෙස දේවධර්මය අධ්‍යයනය කිරීමයි. වෙනත් අයුරකින් පැවසුවහොත්, එය භාවිතයට ගත හැකි ලෙසද, එදිනෙදා අවශ්‍යතාවන්ට අනුකුලවන ලෙසද දේවධර්මය අධ්‍යයනය කිරීමයි. එක් පූජක විද්‍යාලයක් එහි ප්‍රායෝගික දේවධර්ම වැඩ සටහන විස්තර කරන්නේ "දේව ධර්මයේ පරිඥානය ප්‍රායෝගිකව ක්‍රියාවට නැඟීමට කැපවී සිටීම බවත්" "දේවගැති දේවධර්මය, ධර්ම භාෂණ විද්‍යාව සහ ක්‍රිස්තියානි අධ්‍යාපනය යන උප විෂයන් සාමාන්‍යයෙන් ඇතුළත් වන" බවත්ය. තවත් පූජක විද්‍යාලයක් ප්‍රායෝගික දේවධර්මයේ පරමාර්ථය දකින්නේ තම සිසුන්, ඉගෙන ගත් දැනුම ක්‍රියාකාරි දේවගැති ධුරයක් බවට පරිවර්තනය කිරීම සඳහා සූදානම් කිරීමට උපකාර කිරීමයි. මෙය සිදුකිරීම සඳහා පෞද්ගලික හා පවුල් ජීවිතය මෙන්ම සභාවේ පරිපාලන හා අධ්‍යාපන සේවා අංශද අන්තර්ගතවේ. ඔවුන් පවසන අන්දමට ප්‍රායෝගික දේවධර්මයේ පරමාර්ථය වන්නේ, යමෙක් නායකයෙක් සේවකයෙක් ලෙස කටයුතු කරද්දි, ආත්මික වර්ධනය පිළිබඳ දැක්මක් ඇති ඇදහිලිවන්තයන් තුළ ශුද්ධ ලියවිල්ලෙහි ක්‍රියාකාරි සන්නිවේදකයන් පිරිසක් බිහිකිරීමයි.

සමහරු ප්‍රායෝගික දේවධර්මය සලකන්නේ ක්‍රිස්තියානි ජීවිතයේ මූලධර්මයට වඩා එහා ගිය හුදෙක් තාක්‍ෂණික නාමයක් ලෙස පමණි. එහි අවධාරණය වනුයේ, ශුද්ධ ලියවිල්ලේ සියලුම ඉගැන්වීම් අද අප ජීවත් වන ලෝකයේ ආකාරයට බලපාන්නේ කෙසේද යන්නයි. ප්‍රායෝගික දේවධර්මයේ අවධාරණය හුදෙක් දේවධර්මවාදී මූලධර්ම ගැන මෙනෙහි කිරීම හෝ වටහා ගැනීම පමණක් නොව, එදිනෙදා ක්‍රිස්තියානි ජීවිතය තුළ එම මූලධර්ම ක්‍රියාවට නැංවීම සඳහා ඉන් ඔබ්බට ගමන් කිරීමයි. ඒ තුළින් "අපි දෙවියන් වහන්සේ අපේක්ෂා කරන ලෙසට ලෝකය පත්කිරීමට දායක වෙමූ."

ප්‍රායෝගික දේවධර්ම වැඩ සටහන් පිටුපස ඇති පරිශ්‍රය නම්, අනාගත ක්‍රිස්තියානි නායකයින්ට දේවධර්මීය දැනුම පමණක් නොව, නූතන ලෝකයේ ඵලදායී ලෙස සේවය කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය කුසලතාද තිබිය යුතු බවයි. බොහෝ විට මෙම වැඩ සටහන්, අනාගත කිතුනු නායකයින් සන්නද්ධ කිරීමට හා සුදානම් කිරීමට අවස්ථාව ලබා දීම සඳහා දේශනා කිරීම, ක්‍රිස්තියානි අධ්‍යාපනය, උපදේශනය සහ සායනික වැඩ සටහන්ද අන්තර්ගත කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ප්‍රායෝගික දේවධර්මය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries