settings icon
share icon
ප්‍රශ්නය

දේව වචනානුකූල පාප ලැයිස්තුවක් තිබේද?

පිළිතුර


අප බොහෝ විට සිතනුයේ අපට අනුගමනය කිරීමට පිරික්සුම් ලැයිස්තුවක් තිබේ නම් අපගේ ජීවිත සරල කළ හැකි බවය. අපට සාප්පු ලැයිස්තු, කළ යුතුදේ ලැයිස්තු සහ පැතුම් ලැයිස්තු මෙන්ම තවත දේ තිබේ. නිසැකවම දෙවියන්වහන්සේට අවශ්‍යය වන්නේ අප උන්වහන්සේ උදෙසා ජීවත් වීම සාර්ථක කර ගැනීමට නම් එය වළක්වා ගැනීම සදහා පාප පිළිබද දේව වචනයේ ලැයිස්තුවක් තිබිය යුතුවේ. අප දේව වචනය දෙස බලන කළ නිසැකවම අපට පාප ලැයිස්තුවක් සොයාගත හැකි නමුත් එම ලැයිස්තු කිසිවිටෙකත් අවසන් නොවන බව අපට පෙනී යයි.

ආරම්භයේ සිටම දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හරි දේ සහ වැරදි දේ කියා දුන් සේක. උයනේදී දෙවියන්වහන්සේ විසින් ආදම්ට කියන සේක් "නුඹට උයනේ සියලූ ගස් වලින් කැමති ලෙසට කන්ට පුළුවනත එහෙත් යහපත සහ නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය" (උත්පත්ති 2:16-17). ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට පැමිණි විට සීනයි කන්දේදී දෙවියන්වහන්සේ තම ව්‍යවස්ථාව ස්ථාපිත කළ සේක. ආඥා දසය (නික්මයාම 20:1-17) සම්පූර්ණ ව්‍යවස්ථාව නොවූවත් දෙවියන්වහන්සේ ඔවුනට පැවසිය යුතු සියල්ලෙහි සාරංශයක් විය. ලෙවී කථාව සහ ද්වීතීය කථාව යන පොත් මුළුමනින්ම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඉශ්‍රායෙල්වරුන්ට හෙළිදරව් කිරිමට කැප කොට තිබේ. යුදෙව් රබ්බිවරු පවසන්නේ ටෝරාහී (මෝසේස්ගේ ව්‍යවස්ථා පොත්– නීති 613 ඇති බවය. ඉන් 365 ක්ම "නුඹ විසින් නොකළ යුතුය...." යන ප්‍රභේදයට අයත්වේ.

මෙම පාපයන් සදහා නිදසුන් මොනවාද? ආඥා දසයෙන් අපට ව්‍යාජ නමස්කාරය, රූප වන්දනාව, දෙවියන්වහන්සේගේ නාමය අනිසි ලෙස භාවිතා කිරීම, සබත උල්ලංඝනය කිරීම, දෙමවිපියන්ට ගෞරව කිරීම, මිනී මැරීම, කාමමිථ්‍යාචාරය, සොරකමි කිරීම, බොරු කීම / අප කීර්තියට ලක් කිරීම සහ අන්සතු දෙයට ආශා කිරීම ආදියවේ. කන්ද උඩ දේශනාවේදී (මතෙව් 5-7). යේසුස්වහන්සේ විසින් මෙම පාපයන්ම නව තලයකට ගෙන යනු ලැබූ සේක. මිනිමැරීම් සම්බන්ධව යේසුස්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ "නමුත් මම නුඹලාට කියමි; තමාගේ සහෝදරයාට කෝපවන කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය.... නුඹ ජඩයා යයි කියන කවරෙක් නමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය" (මතෙව් 5:22). කාමමිථ්‍යාචාරය සම්බන්ධව යේසුස් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ "ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යාචාරය කළේය" (මතෙව් 5:28). ගලාති 5:19-21 අපට ප්‍රකාශ කරනු ලබන්නේ "ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම් වේශ්‍යාකම අපවිත්‍රකම සල්ලාලකම රූප වැදීම මායාව සතුරුකම් විවාදය ඊර්ෂ්‍යයා ක්‍රෝධ පක්ෂවාදීකම් භේද ලබ්ධි භේද වෛර බීමත්කම මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම නුඹලාට ප්‍රථම කී ලෙසම දැනුත් කලින් නුඹලාට කියම්." මෙම කෙටි ලැයිස්තු මගින් බොහෝ දෙනෙකුට ජීවිත කාලය පුරාම කටයුතු කිරීමට බොහෝ දේ ලබා දෙනු ඇත. ශුද්ධ ලියවිල්ලෙහි සොයාගත හැකි විවිධ ලැයිස්තු වලට අමතරව 1 යොහාන් 5:17 හී අපට පවසා ඇත්තේ "සියලූ අධර්මිෂ්ඨකම් පාපය" බවය. නොකළ යුතු දේ පිළිබදව දේව වචනය අපට පවසනවා පමණක් නොව යාකොබ් 4:17 හී අපට දන්වා ඇත්තේ "එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ඔහුට ඒක පාපයය."

අප පව් ලැයිස්තුවක් සම්පාදනය කිරීමට උත්සාහ කරන කළ අපගේ අසාර්ථකත්වයේ වරදකාරිත්වයට යටවී ඇති බව අපට පෙනී යන්නේ අප අවබෝධ කරගත් ප්‍රමාණයට වඩා අප පව් කර ඇති බව අනාවරණය කරගත් හෙයිනි. ශුද්ධ ලියවිලි මගින් අපට දන්වනු ලබන්නේ "මක්නිසාද යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටන්නෝද එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති, මක්නිසාද; ව්‍යවස්ථා පොතෙහි ලියා තිබෙන සියලූ දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාප ලද්දෝයයි ලියා තිබේ" (ගලාති 3:10). එම ප්‍රකාශය ස්වයං පරාජයක් ලෙස පෙනෙන්නට තිබුණද එය සැබවින්ම හොදම ප්‍රවෘත්තියවේ. අපට කිසිවිටෙකත් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් පිළිපැදිය නොහැකි බැවින් තවත් පිළිතුරක් තිබිය යුතු අතර එය පසු පද කිහිපයකින් සොයාගත හැකිවේ; "ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත් සේක. මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශිර්වාදය අන්‍යජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්ය" (ගලාති 3:13-14). දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව හෝ දේව වචනයෙන් අපට හමුවන පාප ලැයිස්තුව උපදේශකයෙකු ලෙස සේවය කරනු ලබන්නේ "ඇදහිල්ල කරණකොටගෙන ධර්මිෂ්ඨකරනු ලබන පිණිස ව්‍යවස්ථාව අප ක්‍රිස්තුස්වහන්සේ ළගට පමුණුවන" (ගලාති 3:24) පිණිසය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

දේව වචනානුකූල පාප ලැයිස්තුවක් තිබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries