settings icon
share icon
ප්‍රශ්නය

යේසුස්වහන්සේගේ මනුෂ්‍යයත්වය වැදගත් වන්නේ මන්ද?

පිළිතුර


යේසුස්වහන්සේගේ මනුෂ්‍යයත්වය යේසුස්වහන්සේගේ දේවත්වය හා සමානව වැදගත්වේ. යේසුස්වහන්සේ මුළුමනින්ම දිව්‍යමය වී සිටියදීම උන්වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස උපත ලැබූ සේක. යේසුස්වහන්සේගේ මනුෂ්‍යයත්වය පිළිබද සංකල්පය උන්වහන්සේගේ දේවත්වය හා සමග සමපාත වන බව මිනිසාගේ සීමිත මනසට තේරුම් ගැනීමට අපහසුය. කෙසේ නමුත් යේසුස්වහන්සේගේ ස්වභාවය – එනම් සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙකු සහ සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේව සිටීම – දේවවචනානුකූල කාරණයකි. යේසුස්වහන්සේ මනුෂ්‍යයෙකු වන නමුත් දෙවියන්වහන්සේ නොවන බව ප්‍රකාශ කරමින් මෙම දේවවචනානුකූල සත්‍යයන් ප්‍රතික්ෂේප කරන්නාවූ අයද සිටිතිග (එබියෝනිස්ටිවාදය). ඩොසිටිස්වාදය වනාහී යේසුස්වහන්සේ දෙවියන් වහන්සේ වන නමුත් මනුෂ්‍යයකු නොවේ යයි ප්‍රකාශ කරන මතයවේ. මෙම මතවාදයන් දෙකම දේවවචනානුකූල නොවන මෙන්ම සාවද්‍යයද වේ.

යේසුස්වහන්සේට මනුෂ්‍යයෙකු ලෙස ඉපදීමට හේතුන් කිහිපයක් තිබිණි. එකක් ගලාති 4:4-5 හි සංක්ෂිප්ත කොට ඇත: "නුමුත් කාලය සම්පූර්ණ වූ කල දෙවියන්වහන්සේ ස්ත්‍රියෙකුගෙන් උපන්නාවූද ව්‍යවස්ථාව යටතේ උපන්නාවූද තමන් පුත්‍රයාණන්වහන්සේ එවූ සේක. එසේ කළේ අප විසින් පුත්‍රකම ලබන පිණිස උන්වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි වූවන් මුදාගැනීමටය." "ව්‍යවස්ථාව යටතේ උපත ලැබීමට" හැකි වන්නේ මනුෂ්‍යයෙකුට පමණි. කිසිඳු සත්ත්වයෙකු හෝ දේව දූතයෙකු "ව්‍යවස්ථාව යටතේ" නොසිටිති. ව්‍යවස්ථාව යටතේ උපත ලබන්නේ මනුෂ්‍යයන් පමණක් වන අතර එම ව්‍යවස්ථාව යටතේම උපත ලැබූ අන් මනුෂ්‍යයන්වද ගැළවීමට ගෙන ආ හැක්කේද මනුෂ්‍යයෙකුටම පමණි. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව යටතේ උපත ලැබූවන් ලෙස සියලූ මනුෂ්‍යයන් එම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිම පිළිබද වරදකරුවන් වෙති. ව්‍යවස්ථාව පරිපූර්ණ ලෙස පිළිපැදීමටත් එය පරිපූර්ණව ඉෂ්ට කිරීමටත් එතුළින් අපව එම වරදකාරිත්වයෙන් මුදවාගැනීමටත් හැකි වන්නේ පරිපූර්ණ මනුෂ්‍යයෙකු වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේට පමණකි. යේසුස්වහන්සේ විසින් කුරුසිය මත අපගේ මිදීම ඉෂ්ට සම්පූර්ණ කරනු ලැබුවේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අපගේ පාපයන් හා සමග හුවමාරුකර ගැනීමෙනි (2 කොරින්ති 5:21).

යේසුස්වහන්සේ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙකු වීමට තවත් හේතුවක් වූයේ පව් කමාව පිණිස රුධිරය වැගිරවීමේ අවශ්‍යයතාවය දෙවියන්වහන්සේ විසින් තහවුරු කර තිබීමවේ (ලෙවී කථාව 17:11; හෙබ්‍රව් 9:22). සත්ත්වයන්ගේ රුධිරය පරිපූර්ණ දේව – මනුෂ්‍යයාගේ රුධිරය පූර්ව නිගමනය කිරිම සදහා තාවකාලික පදනමක් මත පිළිගත හැකි වුවද එය පාපය ස්ථිරවම සමනය කිරීම සදහා ප්‍රමාණවත් නොවීය. මන්දයත් "ගොනුන්ගේත් එළුවන්ගේත් ලෙයින් පව් පහකරන්ට නුපුළුවන" (හෙබ්‍රව් 10:4). දෙවියන්වහන්සේගේ පරිපූර්ණ බැටළුපැටවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් උන්වහන්සේගේ මනුෂ්‍යය ජීවිතය සහ මනුෂ්‍යය රුධිරය වගුරනු ලැබුවේ එතුමාණන් කෙරෙහි විශ්වාස කරන සියල්ලන්ගේ පාපයන් ආවරණය කරනු වස්ය. උන්වහන්සේ මනුෂ්‍යයෙකු නොවූ සේක් නම් එසේ කිරීම අපහසු කාර්‍යයක් වනු ඇත.

තවදුරටත්, දේව දූතයන්ට හෝ සතුන්ට කිසිදා කළ නොහැකි ආකාරයකින් අප හා සම්බන්ධ වීමට යේසුස්වහන්සේගේ මනුෂ්‍යයත්වය උන්වහන්සේට හැකියාව ලබා දෙයි. "මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලූ ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය" (හෙබ්‍රව් 4:15). අපගේ දුර්වලකම් සහ පරීක්ෂාවන්ට අනුකම්පා කළ හැක්කේ මනුෂ්‍යයෙකුට පමණි. උන්වහන්සේගේ මනුෂ්‍යයත්වය තුළ යේසුස්වහන්සේද අප හා සමානව සියලූ පරීක්ෂාවන් තුළින් ගමන් කළ හෙයින් අපට අනුකම්පා කිරීමට සහ උපකාර කිරිමට උන්වහන්සේට හැකිවේ. උන්වහන්සේ පරීක්ෂාවට ලක් කරනු ලැබූ සේක: උන්වහන්සේට පීඩා කරනු ලැබීය: උන්වහන්සේ දිළිඳුව සිටි සේක: උන්වහන්සේට අවමන් කරනු ලැබීය: උන්වහන්සේ ශාරිරික වේදනා වින්ද සේක: එසේම උන්වහන්සේ විසින් කල් පවත්නා සහ කුරිරු මරණයක් විදදරා ගත්සේක. මේවා අත්විදිය හැක්කේ මනුෂ්‍යයෙකුට පමණක් වන අතර අත්දෑකීම් තුළින් ඒවා සම්පූර්ණයෙන් වටහා ගත හැක්කේ මනුෂ්‍යයෙකුට පමණි.

අවසාන වශයෙන්, යේසුස්වහන්සේගේ මාංශවත්වී පැමිණීම අවශ්‍යවූයේ එම සත්‍යය පිළිබද විශ්වාස කිරීම ගැළවීම ලබා ගැනීම සදහා පූර්වශ්‍යතාවයක් වූ හෙයිනි. යේසුස්වහන්සේ මාංශයෙන් පැමිණ ඇති බව ප්‍රකාශ කිරීම දෙවියන් වහන්සේගෙන් ලද ආත්මයක් පිළිබද ලකුණක් වන අතර අන්ත ක්‍රිස්තුස් සහ ඔහු අනුගමනය කරනු ලබන සියල්ලන්ම එය ප්‍රතික්ෂේප කරනු ලබති (1 යොහාන් 4:2-3). යේසුස්වහන්සේ මාංශවත්වී පැමිණුනු සේකත මිනිස් දුර්වලකම් කෙරෙහි අනුකම්පා කිරීමට උන්වහන්සේට හැකිවේ; උන් වහන්සේගේ මනුෂ්‍යය රුධිරය වැගිරවූයේ අපගේ පාපයන් උදෙසාය; උන්වහන්සේ සම්පූර්ණයෙන් දෙවියන්වහන්සේ වූ සේක් අතර සම්පූර්ණයෙන් මනුෂ්‍යයාද වූ සේක. මේවා වනාහී ප්‍රතික්ෂේප කළ නොහැකි දේව වචනානුකූල සත්‍යයන්වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස්වහන්සේගේ මනුෂ්‍යයත්වය වැදගත් වන්නේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries