settings icon
share icon
ප්‍රශ්නය

බයිබලානුකුල භාරකාරත්වය යනු කුමක්ද?

පිළිතුර


භාරකාරත්වය පිළිබඳව බයිබලය පවසනදේ සොයා ගැනීමට, අපි ආරම්භ කරන්නේ "ආරම්භයේදීම දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක" (උත්පත්ති 1:1). මැවුම්කරුවාණන් වශයෙන්, දෙවියන් වහන්සේට සෑම දෙයකම හිමිකාරිත්වයේ පරම අයිතියක් ඇති අතර, මෙහි ආරම්භ කිරීම අතපසු කිරීම හරියට අපගේ කමිසයේ හෝ බ්ලවුස් එකේ ඉහළ බොත්තම වැරදි ලෙස සකසා ගැනීම හා සමානයි. දෙවියන්වහන්සේ මැවුම්කරුවාණන් බවත්, හිමිකාරිත්වයේ පූර්ණ අයිතිවාසිකම් ඇති බවත් අපට මග හැරුණහොත්, භාරකාරත්වය පිළිබඳ මූලධර්මය ඇතුළුව, බයිබලයේ වෙන කිසිම දෙයක් තේරුමක් හෝ සැබෑ අදාළත්වයක් නැත. මෙය සම්පූර්ණයෙන් ග්‍රහණය කර අපගේ හදවත් තුළට කාවැද්දීමට ඇති හැකියාව තුළින් භාරකාරත්වය පිළිබඳ මූලධර්මය වටහා ගත හැකිය.

භාරකාරත්වය පිළිබඳ බයිබලානුකුල මූලධර්මය අර්ථ දක්වන්නේ මිනිසෙකු දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවයයි. එය දෙවියන්වහන්සේ හිමිකරු ලෙසත් මිනිසා කළමනාකරු ලෙසත් හඳුනා ගනී. අපගේ ජීවිතයේ සෑම අංශයක්ම පරිපාලනය කිරීමේදී දෙවියන්වහන්සේ මිනිසා තම සම-සේවකයා බවට පත් කරයි. ප්‍රේරිත පාවුල්තුමා එය වඩාත් හොඳින් පැහැදිලි කරන්නේ, "මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ සෙසු සේවකයෝ වෙමු. ඔබ දෙවියන්වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය" (1 කොරින්ති 3:9). මෙම සංකල්පයෙන් පටන් ගෙන, අපගේ දේපළ පමණක් නොව, වඩාත් වැදගත් ලෙස මිනිස් ජීවිතයම නිවැරදිව බැලීමට හා නිවැරදිව අගය කිරීමට අපට හැකිවේ. සාරාංශයක් ලෙස, භාරකාරත්වය යනු දෙවියන්වහන්සේ විසින් අපට පවරා ඇති පරිදි මේ ලෝකයේ අපගේ අරමුණ අර්ථ දක්වයි. දෙවියන්වහන්සේගේ ලෝක ව්‍යාප්ත හා සදාකාලික මිදීමේ ව්‍යාපාරයට සම්බන්ධවීමට අපට දිව්‍යමය වශයෙන් ලබාදී ඇති අවස්ථාව මෙයයි (මතෙව් 28:19-20). භාරකාරත්වය යනු දෙවියන්වහන්සේ අපෙන් යමක් ලබා ගැනීම නොවේ; එය උන්වහන්සේගේ ධනවත්ම ත්‍යාගයන් තම සෙනඟට ලබාදීමේ ක්‍රම වේදයයි.

අළුත් ගිවිසුමේ ග්‍රීක වචන දෙකක් අපගේ ඉංග්‍රීසි වචනයේ අර්ථය "භාරකාරත්වය" යන්නයි. පළමු වචනය එපිට්‍රොපොස් වන අතර එහි අර්ථය "කළමනාකරු, සුපර්වයිසර් හෝ ගබඩාකරු" යන්නයි. රජයේ දෘෂ්ටි කෝණයෙන් බලනවිට එහි අර්ථය "ආණ්ඩුකාරයා හෝ ප්‍රසම්පාදකයා" යන්නයි. සමහර අවස්ථාවල අළුත් ගිවිසුමේ "භාරකරු" යන්නෙහි අර්ථය ගලාති 4:1-2 හී සඳහන්වේ: "සියලු වත්කම්හි අයිතිය ඔහු දැරුවත් මම කියන්නේ උරුමක්කාරයා දරුවෙකු වන තාක් ඔහු වහලෙකුට වඩා වෙනස් නොවේ. ඔහුගේ පියා නියම කරන කාලය තෙක් ඔහු භාරකරුවන්ට යටත්වේ." දෙවන වචනය ඔයිකොනොමොස්ය. එහි අර්ථය "භාරකරු, කළමනාකරු හෝ පරිපාලක" යන්නයි. එය අළුත් ගිවිසුමේ නිතර දක්නට ලැබේ. සන්දර්භය මත පදනම්ව, එය බොහෝවිට පරිවර්තනය කරනු ලබන්නේ "බෙදාහැරීම, භාරකාරත්වය, කළමනාකරණය, විධිවිධාන, පරිපාලනය, ඇණවුම, සැලැස්ම හෝ පුහුණුව" යනුවෙනි. එය බොහෝ දුරට යොමුවන්නේ නිවසක හෝ ගෘහ කටයුතු පිළිබඳ නීතිය හෝ කළමනාකරණය පිළිබඳවය.

පාවුල්තුමාගේ ලියවිලි වල ඔයිකොනොමොස් යන වචනයේ උපරිම වැදගත්කම ලබාදී ඇත්තේ ශුභාරංචිය දේශනා කිරීමේ වගකීම දිව්‍ය විශ්වාසයක් ලෙස පාවුල්තුමා දකින බැවිනි (1 කොරින්ති 9:17). ක්‍රිස්තුස් වහන්සේ තුළ එළිදරව්වූ දිව්‍යමය අභිරහස පිළිබඳ දේව සේවයක් සඳහා දෙවියන්වහන්සේගේ වරප්‍රසාදය පරිපාලනය (භාරකාරත්වය) ලෙස පාවුල් තුමා දෙවියන්වහන්සේගෙන් කළ කැඳවීම (එපීස 3:2). මෙම සන්දර්භය තුළ, පාවුල්තුමා දෙවියන්වහන්සේව ශ්‍රේෂ්ඨ ගෘහයක ස්වාමියා ලෙස නිරූපනය කරන අතර, එය ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කීකරු සේවකයා ලෙස පාවුල්තුමා තුළින්ම ඥානවන්තව පරිපාලනය කරයි.

පාවුල් පවසන දෙයෙහි වැදගත්කම නම්, අපව කැඳවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට ඇතුළත් කළ පසු, අපෙන් ඉල්ලා සිටින භාරකාරත්වය අපගේ බලයේ හෝ හැකියාවන්ගේ ප්‍රතිපලයක් නොවන බවයි. අපගේ ජීවිත කළමනාකරණය කිරීමේ ශක්තිය, ආනුභාවය හා වර්ධනය අප තුළ ඇති ශුද්ධාත්මයාණන් කරණකොටගෙන දෙවියන්වහන්සේගෙන් පැමිණිය යුතුය. එසේ නොවුවහොත්, අපගේ ශ්‍රමය නිෂ්පල වන අතර, භාරකාරත්වයේ වර්ධනය ස්වයං ධර්මිෂ්ධය, මිනිස් වර්ධනයකි. ඒ අනුව, දෙවියන්වහන්සේව සතුටු කිරීමේ අපගේ ශක්තියේ එකම ප්‍රභවය අප සැමවිටම මතක තබා ගත යුතුය: "මා බලවත් කරන ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන මට සියල්ල කළ හැකිය" (පිලිප්පි 4:13). පාවුල්තුමාද මෙසේ කීවේය. "නමුත් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය නිසා මම මමම වෙමි. උන්වහන්සේ මට දුන් වරප්‍රසාදය පල රහිත විය. නැත, මම ඔවුන් සියල්ලන්ට වඩා වෙහෙස මහන්සිවී වැඩ කළෙමි. එහෙත් මම නොව මා සමඟ සිටි දෙවියන් වහන්සේගේ කරුණාවය" (1 කොරින්ති 15:10).

බොහෝවිට, අපි හොඳ භාරකාරත්වය ගැන සිතනවිට, අපගේ මුදල් කළමනාකරණය කරන්නේ කෙසේද සහ දෙවියන්වහන්සේගේ දසයෙන් කොටස සහ පූජා ගෙවීමේදී අපගේ විශ්වාසවන්තකම ගැන අපි සිතමු. නමුත් අපි දැකීමට පටන් ගෙන ඇති විට, එය ඊට වඩා බොහෝසෙයින් වැඩිය. ඇත්ත වශයෙන්ම, එය අපගේ කාලය, අපේ දේපළ, පරිසරය හෝ අපගේ සෞඛ්‍යය කළමනාකරණයට වඩා වැඩිය. භාරකාරත්වය යනු දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය පිළිබඳ අපගේ කීකරු සාක්ෂියයි. ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයා ක්‍රියා කිරීමට පෙළඹෙන්නේ එයයි. පාවුල් තුමාගේ භාරකාරත්වයට ඔහු වෙත පවරා ඇතිදේ, එනම් ශුභාරං චිසත්‍යය ප්‍රකාශ කිරීම සම්බන්ධවිය.

අපගේ පාලනය යටතේ පවතින සෑම දෙයක්ම පරිපාලනය කිරීමේදී අපගේ ප්‍රායෝගික කීකරුකම, අපට භාරදී ඇති සියල්ල, භාරකාරත්වය අර්ථ දක්වයි. එය දෙවියන්වහන්සේගේ සේවයට යමෙකුගේ සහ වත්කම් කැපකිරීමය. අපගේ දේපළ පාලනය කිරීමට අපට අයිතියක් නැති බව භාරකාරත්වය ප්‍රායෝගිකව පිළිගනී — දෙවියන්වහන්සේට එම පාලනය ඇත. එහි අර්ථය නම් දෙවියන්වහන්සේගේ භාරකරුවන් වශයෙන් අප දෙවියන් වහන්සේට අයිති දේවල කළමනාකරුවන් වන අතර, අපි උන්වහන්සේගේ කටයුතු පරිපාලනය කරනවිට උන්වහන්සේගේ නිරන්තර අධිකාරය යටතේ සිටිමු. විශ්වාසවන්ත භාරකාරත්වය යන්නෙන් අදහස් කරන්නේ අප අපගේම නොවන බවත්, අප උදෙසා තමාවම ලබා දුන් ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස්වහන්සේට අයිති බවත්ය.

අවසාන ප්‍රශ්නය මෙයයි: මම මාගේ ජීවිතයේ අධිපතියාද, නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ජීවිතයේ ස්වාමියාද? සාරාංශයක් ලෙස, භාරකාරත්වය දෙවියන්වහන්සේට සහ අපගේ ස්වාමීන් හා ගැලවුම්කරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට අපගේ සම්පූර්ණ කීකරුකම ප්‍රකාශ කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලානුකුල භාරකාරත්වය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries