settings icon
share icon
ප්‍රශ්නය

සද්දුසිවරුන් කවුද?

පිළිතුර


ක්‍රිස්තුස්වහන්සේගේ කාලයේ සහ අලුත් ගිවිසුමේ යුගයේදී සද්දුසිවරුන් ඊශ්‍රායලයේ යුදෙව්වන් අතර විශාල බලයක් දැරූ ආගමික දේශපාලන කණ්ඩායමකි. සද්දුසිවරු යේසුස්වහන්සේට අවස්ථා වලදී මුහුණ දුන් අතර, උන්වහන්සේව වට්ටන්න උත්සාහ කළහ (මතෙව් 16:1; මාර්ක් 12:18), පසුව ඔවුන් ප්‍රේරිතයන්ගේ දේශනාවට විරුද්ධ විය (ක්‍රියා 4:1-2).

සද්දුසිවරුන්, සමහර විට ඓතිහාසිකව “සාදොකිට්ස්” හෝ “ට්සෙඩුකිම්” ලෙස හඳුන්වනු ලබන අතර, ක්‍රි. පූ. දෙවන සියවසේදී සාදොක් (හෝ සාඩොක්) නම් මිනිසෙකු විසින් ආරම්භ කරන ලදැයි ඇතැමුන් සිතති. තවත් චින්තන පාසලක් වන්නේ සද්දුසි යන වචනය හෙබ්‍රෙව් වචනය වන සදක් (“ධර්මිෂ්ඨ වීමට”) හා සම්බන්ධ බවයි. සද්දුසිවරුන් යෙරුසලමේ දේවමාළිගාවේ සිදුවන සෑම දෙයක්ම සම්බන්ධ වංශාධිපති පන්තියකි. ඔවුන් ධනවත් වීමට නැඹුරු වූ අතර නායක පූජකවරුන් සහ උත්තම පූජකයන් ඇතුළු බලවත් තනතුරු දැරූ අතර සැන්හෙඩ්‍රිනය ලෙස හැඳින්වෙන පාලක මණ්ඩලයේ ආසන 70 න් බහුතරයක් ඔවුන් සතු විය.

සද්දුසිවරුන් රෝමයේ (එකල ඊශ්‍රායලය රෝම පාලනය යටතේ) එකඟ වෙමින් සාමය පවත්වා ගැනීමට වෙහෙස මහන්සි වූ අතර, ඔවුන් ආගමට වඩා දේශපාලනය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූ බව පෙනෙන්නට තිබුණි. ඔවුන් රෝමයට වුවමනා ඉටු කරගෙන සිටි නිසාත්, ධනවත් ඉහළ පන්තියේ අය වූ නිසාත්, ඔවුන් සාමාන්‍ය මිනිසා සමඟ හොඳින් සම්බන්ධ නොවූ අතර සාමාන්‍ය මිනිසා ඔවුන්ව උසස් මත දැරුවේ නැත. සාමාන්‍ය ජනයා වඩාත් හොඳින් ඇසුරු කළේ පරිසිවරුන්ගේ පක්ෂයට අයත් අයටය. සැන්හෙඩ්‍රිනයේ බහුතර ආසන සංඛ්‍යාව සද්දුසිවරුන්ට හිමි වුවද, ඉතිහාසයේ සඳහන් වන්නේ පරිසිවරුන් ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූ නිසා ඔවුන්ට වැඩි කාලයක් පරිසිවරුන්ගේ සුළුතරයේ අදහස් සමඟ ගමන් කිරීමට සිදු වූ බවයි.

සියලුම පූජකයන් සද්දුසිවරුන් නොවූ නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් එසේ වූහ. සද්දුසිවරුන් දෙවියන්වහන්සේගේ ලිඛිත වචනයේ, විශේෂයෙන් මෝසෙස්ගේ පොත්වල (උත්පත්ති සිට ද්විතීය කථාව) අධිකාරිය ආරක්ෂා කළහ. මේ සඳහා ඔවුන්ට ප්‍රශංසා කළ හැකි වුවද, ඔවුන් නියත වශයෙන්ම ඔවුන්ගේ මූලධර්ම මත පරිපූර්ණ නොවීය. පහත දැක්වෙන්නේ ශුද්ධ ලියවිල්ලට පටහැනි සද්දුසියානු විශ්වාසයන්ගේ කෙටි ලැයිස්තුවකි:

1. සද්දුසිවරුන් එදිනෙදා ජීවිතයට දෙවියන්වහන්සේගේ මැදිහත් වීම ප්‍රතික්ෂේප කිරීමට තරම් අතිශයින් ස්වයංපෝෂිත විය.
2. ඔවුන් මළවුන්ගේ නැවත නැඟිටීමක් ප්‍රතික්ෂේප කළහ (මතෙව් 22:23; මාර්ක් 12:18-27; ක්‍රියා 23:8). මෙම විශ්වාසය නිසා, යේසුස්වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බවට ප්‍රේරිතයන් කළ දේශනාවට සද්දුසිවරු දැඩි ලෙස විරුද්ධ වූහ.
3. ඔවුන් මරණින් මතු ජීවිතය ප්‍රතික්ෂේප කළ අතර, මරණයේදී ආත්මය විනාශ වූ බවත්, එබැවින් භූමික ජීවිතයෙන් පසු කිසිදු දඬුවමක් හෝ විපාකයක් ප්‍රතික්ෂේප කළහ.
4. ඔවුන් අධ්‍යාත්මික ලෝකයක පැවැත්ම ප්‍රතික්ෂේප කළහ, එනම් දේවදූතයන් සහ භූතයන් (ක්‍රියා 23:8).

සද්දුසිවරුන් මූලික වශයෙන් ආගමික නිකායකට වඩා දේශපාලන පක්ෂයක් වූ නිසා, යේසුස්වහන්සේ අනවශ්‍ය රෝම අවධානයක් ගෙන එනු ඇතැයි ඔවුන් බිය වන තුරු ඔවුන් ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. එම අවස්ථාවේදී සද්දුසිවරුන් පරිසිවරුන් සමඟ එකතු වී ක්‍රිස්තුස්වහන්සේව මරණයට පත් කිරීමට කුමන්ත්‍රණය කළහ (යොහන් 11:48-50; මාර්ක් 14:53; 15:1). සද්දුසිවරුන් පිළිබඳ වෙනත් සඳහනක් ක්‍රියා 4:1 සහ ක්‍රියා 5:17 හි දක්නට ලැබෙන අතර, ක්‍රියා 12:1-2 හි යොහන්ගේ සහෝදරයා වන යාකොබ්ගේ මරණයට සද්දුසිවරුන් සම්බන්ධ වේ. ඉතිහාසඥ ජොසීෆස් සද්දුසිවරුන්ව යේසුස්වහන්සේගේ අර්ධ සහෝදරයා වූ යාකොබ්ගේ මරණයට සම්බන්ධ කරයි.

සද්දුසිවරුන් තමන් ගැන ලිඛිත විස්තරයක් ඉතිරි කර නැති නිසා, ඔවුන් විශ්වාස කළ දේ හෝ ඔවුන් කළ දේ ගැන අපි දන්නේ බයිබලයේ සහ වෙනත් මූලාශ්‍රවල තිබෙන දේවල් පමණයි. ජොසීෆස්ගේ වාර්තා ඇතුළු බොහෝ ඓතිහාසික වාර්තාවලට අනුව, සද්දුසිවරුන් රළු, අහංකාර, බලයට කෑදර වූ අතර ඔවුන් සමඟ එකඟ නොවන අය සමඟ විවාද කිරීමට ඉක්මන් විය.

ක්‍රි. ව. 70දී රෝමවරුන් විසින් යෙරුසලම සහ දේවමාළිගාව විනාශ කරන විට සද්දුසිවරුන් කණ්ඩායමක් ලෙස පැවතීම නතර විය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සද්දුසිවරුන් කවුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries